Slider

විදුලියට වළ කැපූ දේශපාලකයෝ

ඕනෑම විදුලි පද්ධතියක විදුලිය නිෂ්පාදනය කරන ක්‍රමවේදවල තාක්ෂණික සංකලනයක් තිබිය යුතුය. තාක්ෂණික වශයෙන් අවුරුද්දේ හැමදාම එක හා සමානව ජල විදුලිය නිෂ්පාදනය කළ නොහැක. සූර්ය බලාගාරවලින් සේම සුළං බලාගාරවලින් ද එසේමය. ඒ අඩු පාඩු පියවීමටත් විදුලි පද්ධතිය තාක්ෂණිකව ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් ලෝකයේ ඕනෑම රටක් න්‍යෂ්ටික බලාගාර, ගල් අඟුරු බලාගාර සහ ස්වභාවික වායුවලින් ක්‍රියා කරන බලාගාර ක්‍රියාත්මක කරයි.

වියදම අතින් බැලුවොත් මිල අඩුම න්‍යෂ්ටික බලාගාරය. දකුණු ආසියාවේ ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික බලාගාර භාවිත කරයි. බංග්ලාදේශය න්‍යෂ්ටික බලාගාරයක් හදමින් සිටියි. බොහෝ රටවල් භාවිත කරන්නේ ගල්අඟුරු තාක්ෂණයයි. නිෂ්පාදන මිල අඩුම ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමේ තාක්ෂණයයි.

මහජන උපයෝගීතා කොමිසමේ දත්තවලට අනුව මේ 2023 අවුරුද්දේ ගල් අඟුරු වලින් විදුලි ඒකකයක් නිපදවීමේ සාමාන්‍ය මිල (Avarage price) රුපියල් 29 කි. එහෙත් දැන් ගල් අඟුරු මිල පහල බසිමින් පවතියි. මේ අවුරුද්දේ දෙසැම්බර් වෙද්දිත් ගල් අඟුරුවලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 20ක් වැය විය හැකි බව උපයෝගිතා කොමිසමේ තක්සේරුවයි. ඕනෑම ගල් අඟුරු බලාගාරයක ස්ථාවර වියදමක් සහ නඩත්තු වියදමක් ද පවතියි.

එය විදුලි ඒකකයකට රුපියල් තුනක් පමණ වෙයි. ඇතැම් රටවල් ගල් අඟුරු බලාගාර පිහිටුවා නැත. සිංගප්පූරුව උදාහරණයකි. එහෙත් ඇතැම් රටවල් තම රට කුඩා වුවත් ගල් අඟුරු බලාගාර පිහිටුවා තිබේ. හොංකොං උදාහරණයකි. ඇතැම් රටවල් විශාලය. ගල් අඟුරු බලාගාර විශාල වශයෙන් පවත්වාගෙන යයි. ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, ජපානය සහ චීනය උදාහරණය. ඉන්දියාවේ සමස්ත විදුලියෙන් සීයයට 65ක් නිෂ්පාදනය කරන්නේ ගල් අඟුරු බලාගාරවලිනි.

එහෙත් ඇතැම් රටවල් විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රමුඛතාව දෙන්නේ ස්වභාවික වායුවලටය. ගල් අඟුරු තරම් ලාබ නැති වුණත් ස්වභාවික වායු භාවිතයෙන් විදුලි ඒකකයක් රුපියල් 32කින් පමණ නිෂ්පාදනය කරගත හැකිය. තෙල්වලින් විදුලි ඒකකයක්  නිෂ්පාදනය සඳහා රුපියල් 83ක් වැය වන බව  උපයෝගීතා කොමිසම කියයි.

විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට තෙල් ලීටර් කාලක් පමණ අවශ්‍ය වෙයි. දැන් ඩීසල් ලීටරයක් රුපියල් 400ක් පමණ වෙයි. එහෙත් ස්වභාවික වායුවලින් විදුලිය නිෂ්පාදනය කරගත්තා නම් ඒකකයක නිෂ්පාදන වියදම  රුපියල් 83ක් නොව රුපියල් 32 කි. ගල් අඟුරුවලින් නම් රුපියල් 83කට නොව රුපියල් 20කට විදුලි ඒකකයක් නිපදවා ගත හැකිය.

හිරු-සුළං යනාදි සියලු පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය කර පද්ධතියට මිලදී ගන්නේ ඒකකයක් රුපියල් 37කට හෝ ඊට වඩා වැඩි මුදලකටය. පුනර්ජනනීය බලාගාරවලින්ම පමණක් තාක්ෂණිකව විදුලිය ලබාගත නොහැකිය. ඒවා වෙනත් ප්‍රභවයන් සමග මිශ්‍ර කළ යුතුය. ඊට හේතු ඉහත කීවෙමු. දැනට ලංකාවට තිබෙන්නේ එකම එක ගල් අඟුරු බලාගාරයකි. ඒ බලාගාරයෙන් මේ 2023 අවුරුද්දේ අවශ්‍ය විදුලියෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් ලැබෙයි. මේ 2023 අවුරුද්දේ තෙල්වලිනුත් රටට අවශ්‍ය විදුලියෙන් සියයට 30ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි. විදුලිබල ක්ෂේත්‍රයේ දොරේ ගලායන වියදම තිබෙන්නේ එතැනය. රුපියල් 20කින් කළ හැකි දෙය රුපියල් 83කින් කිරීම නිසාය.

රුපියල් 20කින් විදුලි ඒකකයක් නිපදවිය හැකි බලාගාර ලංවීම සැලසුම්වල තිබුණේ අවුරුදු 20කට පෙර සිටය. ඒ බලාගාර ඉදිකිරීමට අවසර නොදුන්නෝ දේශපාලකයෝය. හොඳම උදාහරණය සාම්පූර් බලාගාරයයි. සාම්පූර් බලාගාරයෙන් බලාපොරොත්තු වූ ධාරිතාව මෙගාවොට් 500කි. ඉන් අවුරුද්දකට විදුලි ඒකක මිලියන 3,500ක් නිෂ්පාදනය කිරීම අරමුණ  විය. ධාරිතාව කියන්නේ  විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාවටය. ඒ බලාගාරය දුවන පැය ගණන අනුව නිපදවන විදුලි ඒකක ගණන තීරණය වෙයි. සාම්පූර් බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට නියමිතව තිබුණේ 2019 දීය.

සාම්පූර් බලාගාරයෙන් අවුරුද්දකට විදුලි ඒකක මිලියන 3,500ක් නිෂ්පාදනය කිරීම අරමුණ විය. මේ  2023 අවුරුද්දේදී තෙල්වලින් විදුලි ඒකක මිලියන 4,300ක්  නිෂ්පාදනය කිරීමට සැරසෙයි. ඒ 4,300න් ඒකක 3,500ක්ම ලැබීමට නියමිතව තිබුණේ සාම්පූර් ගල්අඟුරු බලාගාරයෙනි. එහෙත් 2016 දී එවකට සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සඳුදා ආරම්භ වීමට තිබූ සාම්පූර් බලාගාරයේ කටයුතු ඉරිදා  අහෝසි කළේය. එහෙයින් වර්තමාන අර්බුදයේ පළමුවැනි වගඋත්තරකරුවා වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. 

ඒ ජනාධිපතිවරයා ගල් අඟුරු බලාගාරවලට විරුද්ධ වූයේ ඇයි දැයි රට නොදනියි. අපේ කලාපයේ බංග්ලාදේශයේ දැනටත් ගල් අඟුරු බලාගාර තුනක් හැදෙමින් පවතියි. දකුණු ඉන්දියාවේ පමණක් දැනටත් ගල් අඟුරු බලාගාර තුනක් හැදෙමින් පවතියි. ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල කීයක් හැදෙනවාදැයි  මම නොදනිමි.

ඉන්දියාව දැනටත් තම රටේ නිපදවන සමස්ත විදුලියෙන් සියයට 65ක් නිෂ්පාදනය කරන්නේ ගල්අඟුරු බලාගාරවලිනි. ගල් අඟුරු බලාගාරවලට විරුද්ධ පරිසරයට ආදරය කරන නිසා නම් ඊළඟ විකල්පය ස්වභාවික වායු බලාගාරය. ගල් අඟුරු තරම් ලාබ නොවුණත් තෙල්වලට තරම් අධික මිලක් නොයයි. ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 32කි. එහෙත්  තෙල්වලින් විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 83කි.

ස්වභාවික වායු බලාගාර ගැන ලංවිම කියන්නේ ද අවුරුදු ගණනාවකට පෙර සිටය. විදුලි පද්ධතිය සැලසුම් කිරීමට ලංවිම ඉංජිනේරුවෝ 15ක් පමණ පූර්ණ කාලීනව වැඩ කරති. විදුලිය නිෂ්පාදනය  සඳහා ස්වභාවික වායු භාවිත කළ යුතුය, යන සංකල්පය ලංවිම මුල්වරට ප්‍රකාශයට පත් කළේ 2014දීය. විදුලිය ජනනය සඳහා සුදුස්සන් තෝරා ගැනීමට තරගකාරි මිල ගණන් කැඳවිය යුතු බව විදුලිබල පනතේම සඳහන් වෙයි. ඒ සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍යයය. ලංවිම සාමාන්‍යාධිකාරී කැබිනට්  අනුමැතිය පතා 2016 දී යැවූ පත්‍රිකාව යළි පැමිණියේ නැත.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඒ කැබිනට් පත්‍රිකාව යැවූ පසු එවකට සිටි ජනාධිපති සඳහන් කළේ ස්වභාවික වායු බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් ලංවිම කරදර විය යුතු නැති බවය. දකුණු කොරියාවේ සිටින තම මිතුරකු ස්වභාවික වායු බලාගාරවලට අවශ්‍ය පර්යන්තය සකසා දෙනු ඇති බවය. අනතුරුව ඒ ජනාධිපතිගේ කොරියන් යාළුවා යෝජනාවක් භාර දෙයි. එහෙත් විදුලිබල පනතේ සඳහන් වන්නේ තරඟකාරී මිල ගණන් කැඳවිය යුතු බවය. ඒ ජනපති ඒ පනත ගණන් ගත්තේ නැත.

එවක සිටි අගමැති කිව්වේ  ස්වභාවික වායු පර්යන්තය කොරියානුවාට නොව ඉන්දියාවේ සිටින තම මිතුරකුට ඉදිකර දිය හැකි බවය. ඒ අගමැති විදුලිබල පනතට එරෙහිව කටයුතු කළේ එලෙසය. 2016 සිට 2019 අතර කාලයේ දී  ස්වභාවික වායු බලාගාරවලට අවශ්‍ය පර්යන්තය ඉදිකිරීම සම්බන්ධයෙන් ඒ ජනාධිපති සහ ඒ අගමැති අතර තිබූ තරගය නිසා ස්වභාවික වායුවලින් විදුලිය නිපදවීම ද නවතියි. ඊට හේතු වූයේ ඔබේ කොරියානු මිත්‍රයා සහ මගේ ඉන්දියානු මිත්‍රයාය. 2019 අවසානයේ දී ඒ මිතුරන්ගේ ආණ්ඩුව බිඳ වැටෙයි.

විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව එකතු වී 2019 බලයට පත් අලුත් ආණ්ඩුවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්  කරයි. ඒ ස්වභාවික වායු බලාගාරවලට අවශ්‍ය පර්යන්තය ඉදිකිරීමට තරගකාරී මිල ගණන් කැඳවන්න ඉඩකඩ ඉල්ලා සිටිමිනි. ඒ අනුව 2021 ජනවාරි මාසයේ දී ටෙන්ඩර් පොත් ද  නිකුත් කරයි. යෝජනා ඉදිරිපත් කිරීම සඳහා 2021 ජනවාරි සිට මැයි දක්වා මාස පහක් ද දෙයි. 2021 පෙබරවාරියේ දී පමණ ඇමෙරිකානු තානාපතිනිය විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම හමුවී ස්වභාවික වායු බලාගාර පර්යන්තය ඉදිකිරීමට අදාළ යෝජනාවක්  භාරදුන් බවට ජනමාධ්‍යවල  වාර්තා පළවෙයි.

තරඟකාරීව අදාළ ටෙන්ඩරය දීමට ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙද්දී ඇමෙරිකානු තානාපතිනිය පෞද්ගලික යෝජනාවක් භාරදීමත් එය භාර ගැනීමත් ප්‍රශ්නයකි. ඒ වනවිට සමාගම් 25කින් ටෙන්ඩර් පොත් ද රැගෙන ගොසිනි. ටෙන්ඩර් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙද්දී ඇමෙරිකන් තානාපතිනියගේ ක්‍රියාව ගැන ඇමතිවරු දෙදෙනෙක් ඇමැති මණ්ඩලයේ දී ප්‍රශ්න කරති. අලහප්පෙරුම  විදුලිබල ඇමතිකමෙන් ද විසිවෙයි. ඒ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ ඒ යෝජනාව අනුමත කරයි.

අනුමත කළ ඒ යෝජනාවෙන් එකඟ වුණේ නිව්පෝට්‍රස් නමැති ඇමෙරිකානු සමාගමකට ස්වභාවික වායු පර්යන්තය ඉදිකිරීමේ කටයුතු භාර දීමටය. එයද විදුලිබල පනතේ විධි විධානවලට පටහැනිය. නිව්පෝට්‍රස් සමාගම ලංකා ආණ්ඩුව සමග ඒ ගිවිසුම අත්සන් කළේ රාත්‍රි දොළහටය. එහෙත් අද වනතුරුත් ඒ ස්වභාවික වායු පර්යන්තය ඉදිවී නැත. නිව්පෝට්‍රස් සමාගම ද අතුරුදන්ය.

ස්වභාවික වායු ගබඩා කිරීමේ පර්යන්තය ඉදිකිරීමට ඉස්සරහ දොරෙන් පැමිණ 2021 මැයි වෙද්දී ටෙන්ඩර් භාරදුන් එක් සමාගමක් ටෙන්ඩර් මණ්ඩලය මගින් තෝරා ගෙන තිබේ. ඒ සමාගමේ යෝජනාව විදුලිබල මණ්ඩලය මගින් අනුමැතිය සඳහා ඇමැති මණ්ඩලයට යවා තිබෙන්නේ 2022 අගෝස්තුවේදීය. අවුරුද්දකට අධික කාලයක් ගියත් ඇමැති මණ්ඩලය ඒ යෝජනාව අනුමත නොකරයි.

යහපාලන ආණ්ඩුවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දියානු මිත්‍රයා ලවා ඒ ස්වභාවික වායු පර්යන්තය ඉදිකර ගැනීමට දැන් සැරසෙයි. ලබන වසරේදී නව ජනාධිපතිවරයකු පැමිණ වෙනත් මිතුරකු ගැන කිව හැකි පරිසරයක් දැන් නිර්මාණය වී තිබේ. ස්වභාවික වායු ගබඩා පර්යන්තය ඉදිකිරීම තව තවත් පමාවීම නිසා රුපියල් 32කට විදුලි ඒකකයක් මිලදී ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වී තෙල්වලින් නිපදවන විදුලිය ඒකකයක් රුපියල් 83 බැගින් මිලදී ගැනීමට සිදුවී තිබේ. අවසානයේ විදුලි බිල වැඩි කිරීම මගින් ඒ බර ජනතාව මත පටවයි.

අද තෙල්වලින් නිපදවන විදුලිය ගල් අඟුරුවලින් නිෂ්පාදනය කළා නම් දවසකට ඩොලර් මිලයන 2.4ක් ලාබය. ස්වභාවික වායුවලින් නිෂ්පාදනය කළා නම් දවසකට ඩොලර් මිලියන 1.9ක් ලාබය. සාම්පූර් බලාගාරය ඉදිකිරීමට ඉඩ නොදීම නිසා අවුරුද්දකට ඩොලර් මිලියන 871ක් වැඩිපුර ගෙවයි. එය මිලියන 871ක් වන්නේ ගල් අඟුරු ආනයනයට යන වියදම අඩු කිරීමෙනි. මෙරට ජනතාව අවුරුද්දකට විදුලි ඒකක මිලියන 15,000ක් පාවිච්චි කරති. ගල් අඟුරු බලාගාරවලින් විදුලිය ලබාගත්තා නම් පරිභෝගිකයන් විදුලි ඒකකයට දැන් ගෙවන මිල රුපියල් 18කින් අඩුවෙයි. ඒ තෙල්වලින් විදුලිය නිපදවන්නේ  නැතිව ගල් අඟුරුවලින් නිෂ්පාදනය කළා නම් ඇතිවන තත්ත්වයයි.

දැන් ලංකාවේ විදුලි ඒකකයක් නිපදවීමේ සාමාන්‍ය (Avarage) මිල රුපියල් 48කි. සාම්පූර් බලාගාරය ඉදි කළා නම් එය 18කින් අඩු වී ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 30ක් වෙයි. ගල් අඟුරුවලින් නිපදවන්නේ නැතිව ස්වභාවික වායුවලින් විදුලිය නිෂ්පාදනය කළා නම් අර රුපියල් 48න් රුපියල් 15ක් අඩු වෙයි. එනම් ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 33ක් වෙයි. තෙල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම නිසා 2023 වසරේ දී ඩොලර් මිලියන 1,150ක් රටින් පිටට යයි. ඒ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය තෙල් ආනයනය කිරීම සඳහා පමණකි.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදි කළා නම් ඒ ඩොලර් මිලියන 1,150 න් මිලියන 871ක් රට  ඇතුලේ ඉතිරි වෙයි. ස්වභාවික වායු පර්යන්තය  කලට වෙලාවට ඉදිකර ගැනීමට ඉඩ දුන්නානම් ඒ ඩොලර් මිලියන 1.150න් මිලියන 707ක් රට ඇතුළේ ඉතිරි වෙයි. සාම්පූර් ගල් අඟුරු බලාගාරයට සහ ස්වභාවික වායු ගබඩා පර්යන්තයට වළ කැපූ දේශපාලකයන් රටට කර තිබෙන සේවයක තරම ඒ ඉලක්කම්වලින්ද අනාවරණය වෙයි.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas